විවාහ වීමට පෙර ඔබේ සහකරුගෙන් අනිවාර්යයෙන්ම ඇසිය යුතු මනෝවිද්‍යාත්මක ප්‍රශ්න (Essential Questions to Ask Before Marriage)

Essential Questions to Ask Before Marriage


බොහෝ ආදරවන්තයින් තම විවාහ මංගල්‍යය (Wedding day) සැලසුම් කිරීම සඳහා මාස ගණනාවක්, සමහර වෙලාවට වසර ගණනාවක් පුරා විශාල කාලයක්, ශ්‍රමයක් සහ ධනයක් වැය කරනවා. උත්සව ශාලාව, මංගල ඇඳුම, මල් සැරසිලි සහ ඡායාරූපකරණය ගැන එයාලට තියෙන්නේ අතිශය සියුම් සැලසුමක්.


නමුත්, ජීවිත කාලය පුරාම පවත්වාගෙන යා යුතු සැබෑ "විවාහ ජීවිතය" (Marriage) වෙනුවෙන් ඔවුන් මානසිකව සහ චිත්තවේගීයව සූදානම් වෙනවා ද? මේක අද සමාජයේ බොහෝ විවාහ අපේකෂකයන්ට මඟහැරී යන, එහෙත් අතිශය වැදගත්ම කාරණයයි.


සායනික මනෝවිද්‍යාවට අනුව, හුදු 'ආදරය' පමණක් සාර්ථක විවාහයක් ගොඩනැඟීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

ආදරය යනු පදනම වුවද, විවාහයක් නමැති ගොඩනැඟිල්ල ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා නිවැරදි සන්නිවේදනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් තිබිය යුතුයි.


1. මූල්‍ය කළමනාකරණය සහ ආර්ථික ඉලක්ක (Financial Intimacy and Goals)

බොහෝ පර්යේෂණවලට අනුව, විවාහයන් බිඳ වැටීමට සහ දික්කසාද වීමට බලපාන ප්‍රධානතම හේතුවක් මූල්‍ය ගැටලු නැත්තං සල්ලි ප්‍රශ්න කියලා කියන්නේ. මනෝවිද්‍යාත්මකව මුදල් යනු හුදෙක් කාසි සහ කොළ පමණක් නෙමයි;ඒක පුද්ගලයෙකුගේ ආරක්ෂාව, බලය සහ නිදහස නියෝජනය කරනවා. පුද්ගලයන් දෙදෙනෙකු මුදල් පරිහරණය කරන ආකාරය ඔවුන්ගේ පවුල් පසුබිම සහ අතීත අත්දැකීම් මත සම්පූර්ණයෙන්ම වෙනස්  වෙන්න පුළුවන්. එක් අයෙකු දැඩි ලෙස මුදල් ඉතිරි කිරීමට කැමති (Saver) වන විට, අනෙක් පුද්ගලයා ජීවිතය විඳීමට වියදම් කිරීමට කැමති (Spender) කෙනෙකු වෙන්න පුළුවන්. මෙම පරස්පරතාවයන් විවාහයට පෙර හඳුනාගැනීම  අනිවාර්යයෙන්ම කළ යුතුයි.


ඔබ ඇසිය යුතු ප්‍රශ්න:

දැනට අප දෙදෙනාටම පෞද්ගලිකව තිබෙන ණය (බැංකු ණය, අධ්‍යාපන ණය, ණයපත් හෝ වෙනත්) මොනවාද? අප ඒවා ගෙවා දමන්නේ  කොහොමද?

විවාහයෙන් පසු අපගේ බැංකු ගිණුම් පොදුවේ (Joint accounts) පවත්වාගෙන යනවාද? නැතහොත් වෙන වෙනම පවත්වාගෙන යනවාද?

මාසික වියදම් සහ බිල්පත් ගෙවීමේ වගකීම අප බෙදාගන්නේ කෙසේද? අපගේ ආදායම් කළමනාකරණයට නිශ්චිත සැලසුමක් තිබේද?

අපගේ අනාගත ආර්ථික ඉලක්ක (නිවසක් සෑදීම, වාහනයක් ගැනීම, ආයෝජන) මොනවාද සහ ඒ වෙනුවෙන් අප ඉතිරි කරන්නේ කෙසේද?

2. ලිංගික සහ චිත්තවේගීය සමීපතාවය (Sexual and Emotional Intimacy)


ආදර සබඳතාවක ආරම්භයේදී පවතින ලිංගික ආකර්ෂණය ජීවිත කාලය පුරාම ඒ ආකාරයෙන්ම පවතින්නේ නහැ. කාලය, රැකියා ආතතිය, වයසට යාම, හෝමෝන වෙනස්කම් සහ දරුවන් ලැබීම යන සාධක සමඟ ලිංගික අවශ්‍යතාවන් (Libido) වෙනස් වෙනවා. අපේක්ෂාවන් සහ සීමාවන් පිළිබඳව විවෘතව සාකච්ඡා නොකිරීම, විවාහයෙන් පසු අනියම් සබඳතා සහ දැඩි චිත්තවේගීය දුරස්වීම් (Emotional disconnection) කරා යුවළයන්ව ඇද දමනවා. 'ලිංගිකත්වය' යනු විවාහයකට පෙර කතා කිරීමට ලැජ්ජා විය යුතු මාතෘකාවක් නෙමෙයි.


ඔබ ඇසිය යුතු ප්‍රශ්න:


ලිංගිකත්වය සහ සමීපතාවය පිළිබඳව ඔබේ අපේක්ෂාවන් මොනවාද?


අපගේ සබඳතාවයේ ලිංගික අවශ්‍යතාවන් වෙනස් වූ විට හෝ එකිනෙකාගේ ආකර්ෂණය අඩු වූ විට, අප ඒ ගැන කතා කරන්නේ කොහොම ද?


ලිංගික සමීපතාවයේදී ඔබ අකමැති හෝ සුවපහසු නොවන පෞද්ගලික සීමාවන් (Boundaries) මොනවාද?


අපගේ ආදරය ප්‍රකාශ කරන භාෂාවන් (Love Languages) මොනවාද? (උදා: කාලය ගත කිරීම, ත්‍යාග දීම, ශාරීරික ස්පර්ශය, දිරිගන්වන වචන). ඔබට වඩාත්ම ආදරය දැනෙන්නේ මා කුමක් කළ විටද?


3. ගැටුම් නිරාකරණය සහ සන්නිවේදනය (Conflict Resolution Styles)


කිසිදු මතභේදයක් හෝ ගැටුමක් නොමැති සබඳතාවයක් මේ ලෝකයේ නැහැ. සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක රහස ගැටුම් ඇති නොවීම නෙමෙයි, ඇතිවන ගැටුම් ඉතාම ගෞරවනීය ලෙස කළමනාකරණය කරගැනීමයි. ළමාවියේ බැඳීම් රටාවන් (Attachment styles) මත අප ගැටුමකට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වෙනවා. සමහරුන් ගැටුමකදී වහාම කෑගසා එය විසඳා ගැනීමට උත්සාහ කරන අතර, තවත් සමහරුන් දින ගණනාවක් නිහඬව සිටිමින් (Silent treatment / Stonewalling) සහකරුට මානසිකව දඬුවම්කරනවා.


ඔබ ඇසිය යුතු ප්‍රශ්න:


අප අතර දැඩි මතභේදයක් ඇති වූ විට, ඔබ සාමාන්‍යයෙන් හැසිරෙන්නේ කොහොම ද? ඔබට තනිවීමට කාලය (Space) අවශ්‍යද? නැතහොත් වහාම සාකච්ඡා කළ යුතුද?


කෝපය පාලනය කරගැනීමට ඔබට අපහසු වූ විට, මා ඔබට සහය විය යුත්තේ කොහොම ද?


අතීතයේ අප අතර ඇති වූ ගැටුම්වලදී මගේ හැසිරීම් රටාවේ ඔබ අකමැතිම දේ කුමක්ද? අපි එය වෙනස් කරගන්නේ කොහොම ද?


එකිනෙකාගේ චරිතයට අපහාස නොකර (Without character assassination) අපගේ විවේචන සහ අවශ්‍යතා ඵලදායීව ඉදිරිපත් කරන්නේකොහොම ද?


4. දරුවන් සහ පවුලේ සීමාවන් (Family Planning and Boundaries)


බොහෝ යුවළවල දරුවන් ගැන කතා කළත්, දරුවන් හදන වඩන ආකාරය (Parenting styles) ගැන කතා කරන්නේ නැහැ. එසේම, ලාංකීය සමාජය තුළ විවාහක යුවළක් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයක් තමයි දෙපාර්ශවයේම දෙමාපියන් සහ ඥාතීන් තරුණ යුවළගේ ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම. මෙය විවාහය තුළ බරපතළ චිත්තවේගීය ගැටුම් නිර්මාණය කරන බැවින්, විවාහයට පෙරම නිශ්චිත සීමාවන් පනවා ගැනීම අත්‍යවශ්‍යයි.


ඔබ ඇසිය යුතු ප්‍රශ්න:


අප දරුවන් අපේක්ෂා කරනවාද?


එසේ නම් අප ඊට සූදානම් වන්නේ කවදාද?


යම් හෙයකින් අපට ස්වාභාවිකව දරුවන් ලබාගැනීමට නොහැකි වුවහොත්, අපගේ මීළඟ පියවර (වෛද්‍ය ප්‍රතිකාර, දරුවෙකු හදාගැනීමට ගැනීම) කුමක්ද?


දරුවන්ට දඬුවම් කිරීම, අධ්‍යාපනය සහ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?


විවාහයෙන් පසු අපගේ දෙමාපියන් සහ ඥාතීන් අපගේ පවුලේ තීරණවලට මැදිහත් වන සීමාව කුමක්ද? මගේ පවුලේ අයගෙන් ඔබට යම් අසාධාරණ බලපෑමක් වුවහොත්, මා ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොම ද?


5. ජීවන දැක්ම සහ අනාගත අරමුණු (Core Values and Future Aspirations)


විවාහය කියන්නේ එකිනෙකාගේ අරමුණු විනාශ කර දැමීම නෙමෙයි, දෙදෙනා එක්ව වර්ධනය වීමයි (Growing together). පුද්ගලික වටිනාකම් සහ වෘත්තීය ඉලක්ක එකිනෙකට ගැටෙන විට සබඳතාවයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. එක් අයෙකු වෘත්තීය දියුණුව වෙනුවෙන් විදෙස්ගත වීමට සිහින දකින විට, අනෙක් පුද්ගලයා මව්බිමේ නිදහසේ ජීවත් වීමට සිහින දකියි නම්, එහිදී විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා.


ඔබ ඇසිය යුතු ප්‍රශ්න:


වසර 5කින් හෝ 10කින් අපගේ ජීවිතය ඔබ දකින්නේ කොහොම ද?


ඔබේ ජීවිතයේ විශාලතම සිහිනය හෝ වෘත්තීය ඉලක්කය කුමක්ද? එයට මා සහය දිය යුත්තේ කොහොම ද?


වෘත්තීය ජීවිතය සහ පවුල් ජීවිතය අතර සමතුලිතතාවය (Work-life balance) අප පවත්වා ගන්නේ කොහොම ද?


අපගේ ජීවිතයට ආගමික, සංස්කෘතික සහ සමාජීය වටිනාකම් කෙතරම් දුරට බලපානවාද?




කල්තියා කළ සූදානම


මෑතකදී පූර්ව විවාහ උපදේශනය (Pre-marital counseling) සඳහා අප වෙත පැමිණි යුවළක්. ඔවුන් දෙදෙනාම රැකියාවල නියුතු වූ අතර, දැඩි සෙනෙහසකින් පසු වුනා. නමුත් උපදේශනයේදී මූල්‍ය කළමනාකරණය ගැන කතා කිරීමේදී විශාල ගැටලුවක් මතුවුනා. තරුණයාගේ අදහස වූයේ විවාහයෙන් පසු සියලුම ආදායම් එක් ගිණුමකට බැර කර ඔහු විසින් කළමනාකරණය කළ යුතු බව. ඒත් තරුණියට ඇයගේ මූල්‍ය ස්වාධීනත්වය (Financial independence) අහිමි වීමට දැඩි බියක් තිබුණා.

ඔවුන් මෙම ගැටලුව විවාහයට පෙර උපදේශනය හරහා විවෘතව කතා නොකළේ නම්, විවාහයෙන් මාස කිහිපයක් ඇතුළත ඔවුන් දැඩි මතභේදයකට ලක්වීමට ඉඩ තිබුණා. අපගේ මඟ පෙන්වීම යටතේ, ඔවුන් පොදු වියදම් සඳහා එක් ගිණුමකුත්, තම පෞද්ගලික වියදම් සඳහා වෙනම ගිණුම් දෙකකුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය සම්පන්න එකඟතාවයකට පැමිණියා. කල්තියා ප්‍රශ්න ඇසීමෙන් ඔවුන් අනාගත වේදනාවක් වළක්වා ගත් ආකාරය ඉන් මනාව පැහැදිලි වෙනවා.


සිහියෙන් යුතුව සන්නිවේදනය කිරීම


ඉහත ප්‍රශ්න ලැයිස්තුව දුටු විට ඔබට මෙය රැකියා සම්මුඛ පරීක්ෂණයක් (Interview) සේ දැනිය හැකියි. නමුත් මෙය එකවර, එකම දිනක අසා නිම කළ යුතු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. මෙම සාකච්ඡාවන් 'Mindful Intimacy' සංකල්පයට අනුව ඉතා ආරක්ෂිත (Emotional safety) සහ විනිශ්චයකින් තොර වටපිටාවක සිදු කළ යුතුයි.

මේවා විවේකීව කෝපි කෝප්පයක් බොන අතරතුර, ගමනක් යන අතරතුර හෝ ආදරණීය රාත්‍රී භෝජනයක් අතරතුර ඉතා සුහදව කතාබහ කළ යුතු සංවේදී මාතෘකාවන්. මෙහි අරමුණු සහකරුගේ වැරදි සෙවීම නොව, ඔහු හෝ ඇය ලෝකය දකින ආකාරය පිළිබඳව කුතුහලයෙන් (Curiosity) සහ ආදරයෙන් යුතුව අවබෝධ කරගැනීමයි.


පූර්ව විවාහ උපදේශනයේ (Pre-Marital Counseling) වැදගත්කම


ඇතැම් සංවේදී මාතෘකා (උදා: ලිංගිකත්වය, අතීත කම්පනයන්, පවුලේ ගැටලු) තම සහකරු සමඟ තනිව කතා කිරීමට බොහෝ දෙනෙකු තුළ බියක් සහ ලැජ්ජාවක් පවතිනවා. එමෙන්ම, මෙම සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණීමට අපහසු නම්, එහිදී සුදුසුකම් ලත් පවුල් උපදේශකවරයෙකුගේ (Couples Counselor) සහය ලබා ගැනීම අතිශය විද්‍යාත්මක සහ ප්‍රායෝගික පියවරක්.

පූර්ව විවාහ උපදේශනය යනු කිසිසේත්ම සබඳතාවයේ අසාර්ථකත්වයේ සලකුණක් නොවේ. එය හරියට අනාගතයේදී ඇතිවිය හැකි බරපතළ රෝග වළක්වා ගැනීම සඳහා ලබාගන්නා 'එන්නතක්' (Vaccine) වගේ. මධ්‍යස්ථ වෘත්තිකයෙකු ඉදිරියේ තමන්ගේ බිය, අපේක්ෂාවන් සහ සීමාවන් විවෘතව සාකච්ඡා කිරීමට උපදේශනය මගින් යුවළකට අතිශය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර දෙනවා.


විවාහය කියන්නේ පරිපූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එකතුවක් නෙමෙයි. ඒක එකිනෙකාගේ අඩුපාඩු, වෙනස්කම් සහ අතීත තුවාල පිළිබඳව මනා අවබෝධයකින් යුතුව, එක්ව වර්ධනය වීමට ගන්නා පූර්ණ එකඟතාවයක්. ප්‍රශ්න ඇසීමට බිය නොවන්න. නිවැරදි ප්‍රශ්න ඇසීමෙන්, අනාගතයේ පැමිණිය හැකි කඳුළු සහ වේදනාවන් බොහොමයක් වළක්වා ගැනීමට ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනු ඇත.


Loveology Hub හි නවතම ලිපි, ඔබගේ WhatsApp අංකයටම ගෙන්වා ගන්න! මෙතැන ක්ලික් කරන්න (Click here to connect)


Mindful Intimacy. Healthier Relationships.

Loveology Hub සමඟ සම්බන්ධ වන්න


  • Website: www.loveologyhub.lk

  • WhatsApp: +94 76 368 8050

  • Email: loveologyhub@outlook.com

(මෙම ලිපිය අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. එය පුද්ගලික වෛද්‍ය හෝ මනෝවිද්‍යාත්මක ඇගයීමක් වෙනුවට භාවිත නොකළ යුතුය. යම් ලිංගික හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් පවතී නම් සුදුසුකම් ලත් පවුල් උපදේශකවරයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.)




References:


  • The Gottman Institute: Core Questions to Ask Before Marriage

  • American Psychological Association (APA): The Benefits of Pre-Marital Counseling

  • Psychology Today: Navigating Financial and Emotional Intimacy Before Tying the Knot

Photo credit: [pexels]


Post a Comment

Previous Post Next Post
Contact Us